නොමියෙන මිනිසා හියු ජැක්මන් - Story of Hugh Jackman


ඔන්න අද කතා කරන්න හදන්නේ මාර්වල් වේවා ඩීසී වේවා සමස්ථ සිනමා රසිකයන්ගේ ආදරය එක වගේ දිනාගත්ත සුපිරි තරුවක් ගැනයි. නමින් හියු මයිකල් ජැක්මන්... අපේ හියු ඉපදෙන්නේ 1968 ඔක්තෝබර් 12 වෙනිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී. දෙමාපියන් එංගලන්ත ජාතිකයන් නිසා එංගලන්ත පුරවැසිභාවය තිබුනත් උනත් හියුගේ උපන් රට ඔස්ට්‍රේලියාව නිසා හියු කියන්නේ ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්. ඩුවල් සිටිසන්ශිප් තිබ්බට ලෝකේ හොල්ලපු මිනිස්සු ඈ මේ.. හතර දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන හියුට වයස අවුරුදු 8ක් වෙනකොට එයාගේ දෙමාපියන් දික්කසාද වෙනවා. ඕනිම සාර්ථක කතාවක ආරම්භය අන්තිම අසාර්ථකයි කියන්න තවත් උදාහරණයක්. එතන ඉදන් හියු සහ එයාගේ අයියලා දෙන්නා ජීවත් වෙන්නේ ඒ ගොල්ලන්ගේ තාත්තා එක්ක. 

හියු සහ එයාගේ තාත්තා


පොඩි කාලේ හියු ගොඩක්ම ආස වෙලා තියෙන්නෙ එලි පහලියේ ජීවත් වෙන්න. බීච් එකට යන්න, කෑම්පින් යන්න වගේ දේවල් වලට ලොකු කැමැත්තක් තිබිලා තියෙනවා. ඔස්ට්‍රේලියානු පාසල් වල තමන්ගේ ළමා කාලය ගෙවූ ඔහු ශාරීරක අධ්‍යාපන (පිසිකල් එඩියුකේශන්) ගුරුවරයෙක් ලෙස එංගලන්තයේ පාසලක සේවය කර තිබෙනවා. ආපසු ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔහු 1991 දී සිඩ්නි නගරයේ University of Technology හිදී සන්නිවේදන පිලිබද BA උපාධිය සම්පූර්ණ කරනවා. ඒ වගේම විශ්වවිද්‍යාලය අවසන් වසරේදී ඔහු වේශ නිරූපණය පිලිබද පාඨමාලවක් ද හදාරනවා. උපාධිය ලබා ගැනීමෙන් පසු The Journey නම් රංග කලා පාඨමාලාව හදාරා තිබෙනවා. ඉන් අනතරුව ඔහු සෝප් ඔපෙරා (Soap Opera) නලුවෙකු ලෙස Neighbors නාට්‍යයට එකතු වෙනවා. නමුත් අතර මගදී එයින් ඉවත් වන ඔහු තව දුරටත්‍ රංගනය හැදෑරීම සදහා ඔස්ට්‍රේලියාවේ Edith Cowan විශ්වවිද්‍යාලයේ Western Australian Academy of Performing Arts අංශයට ඇතුල් වෙනවා. හියුගේ පළමු ප්‍රධාන රංගන අවස්තාව වූයේ 1995 දී ABC හරහා විකාශය වූ Correlli කතා මාලාවයි. 



හියු ජැක්මන්ගේ ජීවිතේ වගේම රංගන ජීවිතයේත් හැරවුම් ලක්ශය වන්නේ 2000 වසරේ තිරගත වූ බ්‍රයන් සින්ගර් අධ්‍යක්ෂණය කල X-Men (2000) චිත්‍රපටයයි.

X-Men (2000)

මාර්වල් කොමික් ඉතිහාසයේ ජනප්‍රියම චරිතයක් වන වුල්වරීන් චරිතය රග දැක්වීම සදහා තමා හියු ජැක්මන්ට මේ චිත්‍රපටයෙන් අවස්තාව ලැබුනේ. මේ චරිතය සදහා මුලින්ම තෝරා ගෙන තිබුනේ දක්ශ මෙන්ම ජනප්‍රියම නලුවෙකු වූ රසල් ක්‍රෝව් වූවත්, ඔහුගේම නිර්දේශයක් මත හියු ජැක්මන්ව මේ චරිතය සදහා තෝරා ගැනීමට නිෂ්පාදක මණ්ඩලය කටයුතු කරනවා. ඒ වගේම තමා ඔහු මේ චරිතය රග දක්වන එකට ඔහුගේ බිරිද කිසිසේත්ම කැමති වෙලා නෑ. හියුගේ බිරිද කියලා තියෙන්නේ මේ චරිතය "විකාරයක්" කියලයි.

හියු සහ එයාගේ වයිෆ් ඩෙබී ලී


නිකමට හිතලා බලන්නකෝ වයිෆ් කියන එක අහලා හියු ජැක්මන් ඒ චරිතේ බාර නොගත්තානම් 🙏 සමහර අවස්තා අපිට ලබා දෙන්නෙ ජීවිතේටම එක පාරයි. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න හෝ නොගන්න එක අපිට අයිති දෙයක්. චරිතය බාර ගැනීමෙන් පස්සේ ඔහු විසින් වෘකයන් ගැන පවා හැදෑරීමක් කරලා තියෙනවා තමන්ගේ චරිතය නිවැරදිව ගොඩනගාගන්න ඕනි නිසා. චිත්‍රපටය තිරගතවීමෙන් අනතුරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 296ක බොක්ස් ඔෆීස් ආදායමක් හිමිකරගන්න සමත් වුනේ ආදායම් අතින් මෙන්ම විචාරක පැසසුම් නොමදව ලබා ගනිමින්. ඒ වගේම මේ චිත්‍රපටයේ රංගනය සදහා ඔහුට Saturn Award for Best Actor සම්මානය හිමි වෙනවා. විද්‍යා ප්‍රබන්ධ/ෆැන්ටසි චිත්‍රපටවල රංගනයේ යෙදෙන නලු නිලියන්ට ලබා ගතහැකි ඉහලම සම්මානයක් තමා මේ.



හියු, වුල්වරීන් චරිතය රගදැක්වූ අවස්තා බොහෝමයක දී ඔහුගේ සටන් හා ක්‍රියාදාම දර්ශන ඔහු විසින්ම ඉදිරිපත් කරලා තියෙනවා. අපි කියන්නේ ස්ටන්ට් කරනවා කියලා. ඉතිං ඒ වගේ ක්‍රියාදාම දර්ශන වලදී අතිරේක නලුවෙක් භාවිතා කරලා නෑ. වර්තමානයේදී නම් ගොඩක් රංගන ශිල්පීන් මේ දේ කරනවා. හැබැයි මේ වුල්වරීන් වගේ චිත්‍රපට පටන් ගත්ත කාලේ මේ දේවල් කලේ නලු නිලියන් ඉතාම අතලොස්සක් විතරයි. ඒ වගේම වුල්වරීන් චිත්‍රපටයේ සටන් සදහා ඔහු ආභාෂය ලබාගෙන තියෙන්නේ මයික් ටයිසන්ගේ සටන් වලින්. හැමෝම දන්නවානේ මයික් ටයිසන්ගේ සටන් විලාශය සෑහෙන්න වෙනස් කියලා. ඒ වගේම තමා වුල්වරීන් චිත්‍රපටයේ වුල්වරීන්ගේ අත් දෙකේ නකල්ස් මැද්දෙන් එන Claws දන්නවා නේද? අන්න ඒවා ගෙදර ඉන්නකොට එහෙමත් දාගෙන ඉන්න හියු පුරුදු වෙලා තියෙනවා. මොක්කද ඒ දෙක අත් දෙකට හොදට හුරු උනොත් විතරයි චරිතේ හරියට කරන්න පුලුවන්. 

Claws

හියු ජැක්මන්ගේ උස වෙන්නේ අඩි 6යි අගල් 3යි. කොමික් වල ඉන්න වුල්වරීන්ට වඩා අඩියක් විතර හියු ජැක්මන් උසයි.

කොමික් වල වුල්වරීන්ගේ සහ හියු ජැක්මන්ගේ උසේ වෙනස


මේ හේතුව නිසා චිත්‍රපටයේ නිර්මාණකරුවෝ නිතරම හියු ඉන්න දර්ශන රූගත කරලා තියෙන්නෙ වෙනස් වෙනස් කෝණයන්ගෙන්. ඒ ඔහුගේ සාමාන්‍ය උසට වඩා ටිකක් අඩුවෙන් චිත්‍රපටයේ පේන්න ඕනි නිසා. ඒ වගේම කියන්න ඕනි ගැල් ගැඩොට්, බෙන් ඇෆ්ලෙක් වගේ නලු නිලියන් ඒ ඒ චරිත වලට තෝර ගන්නකොට රසිකයන්ගෙන් ලොකු විවේචනයක් එල්ල උනා වගේ මේකෙදිත් හියුට ලොකු විවේචන එල්ල වෙනවා. ඒකට ලොකුම හේතුව වෙන්නේ හියු ජැක්මන්ගේ උස. මේ චරිතය සදහා තමන්ගේ ශරීරයේ මස් පිඩු වර්ධනය කරගන්නත් හියු සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ඒකට හොදම උදාහරණෙ තමා ෆිල්ම් සීරිස් එකේ හතරවෙනි ෆිල්ම් එක වෙනුවෙන් 136kg වගේ ලොකු බරක් යොදාගෙන බෙන්ච් ප්‍රෙස් එක කරලා තියෙනවා.



දවසක් හරි ජිම් එකට ගිය මන්නුස්සයෙක් දන්නවා කිලෝ 50ක් දාලා බෙන්ච් එක ගහන එකත් කොච්චර අමාරුද කියලා. X-men ෆිල්ම් සීරිස් එකේ හියු ජැක්මන් වුල්වරීන් චරිතය සදහා රගපාපු චිත්‍රපට ටික මෙන්න මෙහෙමයි...

X-Men (2000)


X2 (2003)


X-Men: Last Stand (2006)


X-Men Origins: Wolverine (2009) - මේක X-men ෆ්‍රැන්චයිස් එකේ ප්‍රීක්වල් ෆිල්ම් එකක්


X-Men: First Class (2011) - මේකේ කැමියෝ එකකට තමා හියු ජැක්මන් ඉන්නේ


The Wolverine (2013) - X-men: Last Stand චිත්‍රපටයට පස්සේ සිදුවීම් ටික මේ චිත්‍රපටයේ බලාගන්න පුලුවන්


X-Men: Day of Future Past (2014) - X-men: Last Stand චිත්‍රපටය සීක්වල් එක


Logan (2017) - The Wolverine (2013) චිත්‍රපටයේ සීක්වල් එක

ඔන්න ඔහොම ලෝකේ පුරාම විශාල රසික ආදරයක් දිනාගනිමින් හියු ජැක්මන් කරපු වුල්වරීන් චරිතය 2017 ලෝගන් චිත්‍රපටයෙන් අවසන් වෙනවා. මේ ෆිල්ම් එක සචිනටයි මටයි සෑහෙන්න විශේෂයි. පෞද්ගලිකව ඒ කාලේ X-men ෆිල්ම් වලට මගෙ ලොකු කැමැත්තක් තිබුනේ නෑ. කොහොමරි ලෝගන් එක්කම තිරගතවීම ආරම්භ කරපු කොන්ග් ෆිල්ම් එක බලන්න යන්න තමා සචිනයි මායි මුලින්ම ලෑස්ති උනේ. කොහොමහරි වැල්ලවත්තේ සැවෝයි ප්‍රිමියර් එකට යනකොට ශෝ ටයිම් මාරු වෙලා 10.30 ශෝ එකට තිබ්බේ ලෝගන්. මොනා කරනන්ද ඉතිං...ආයේ හැරිලා එන්න බැරි නිසා බැලුවා. හැබැයි අදටත් සතුටු වෙනවා ඒ ෆිල්ම් එක වැරදිලා හරි බලන්න ලැබුන එකට. සිනාමාව ගත්තත් ටෙලිවිශනය ගත්තත්, මේවා උඩි යටිකුරු කරපු නිර්මාණවල පටන් ගැන්ම බලන්න අපේ පරම්පරාවට පුලුවන් උනේ නෑ. හැබැයි දෙයියනේ කියලා ඒවාගේ අවසානය හරි බලාගන්න පුලුවන් උනා. අන්න ඒ වගේ විශිෂ්ඨතම රංගන ශිල්පියෙක්ගේ, විශිෂ්ඨතම චරිතය වුන වුල්වරීන්ගේ අවසාන චිත්‍රපටය බලන්න පුලුවන් උනා. සිරාවටම ඒක පට්ට වාසනාවක්. ඒ වාසනාව කොච්චර කිව්වොත් අහම්බෙන් සචිනයි මායි සෙට් වෙලා මුලින්ම බලන්න ගියපු ෆිලුමෙන් පටන් ගත්ත ගමන තමා මේ... සමහරවිට එදා කොන්ග් එකේ ශෝ ටයිම් එක නෑ කියලා හැරිලා ගෙදර ආවානම් අද මේ එක දෙයක්වත් නැති වෙන්න තිබුනා.

හියුගේ රංගන ගමනට ලැබුන තවත් දැවැන්ත අවස්තාවක් තමා 2006 දී තිරගත වූ James Bond චිත්‍රපටයක් වන Casino Royale හි ජේම්ස් බොන්ඩ් චරිතය රග දැක්වීමට ආරධනා ලැබීම. නමුත් ඒ වන විට X-Men චිත්‍රපට සදහා සූදානම් වෙමින් තිබුන නිසා ඔහු ඒ චරිතය ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තමා අද අපි හැමෝම දන්න ජේම්ස් බොන්ඩ් චරිතෙ කරන ඩැනියෙල් ක්‍රේග් මේ චරිතයට තෝරාගන්නේ. ඒ වගේම ක්‍රිස්ටින් බේල්, මයිකල් කේන්, ස්කාලට් ජොහැන්සන් සමග 2006 තිරගත වූ ක්‍රිස්ටෝපර් නොලන්ගේ The Prestige චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රග දැක්වීමටද හියු ජැක්මන්ට අවස්තාව ලැබෙනවා. 

The Prestige (2006)


මේකට අමතරව 2013 ආව Denis Villeneuve (Dune ෆිල්ම් එකේ ඩිරෙක්ටර්) අධ්‍යක්ෂණය කරපු Prisoners ෆිල්ම් එකෙත් හියුගේ වෙනස්ම පට්ටම රංගනයක් අපිට බලාගන්න පුලුවන්. ජේක් ජිලන්හෝල් එක්ක කරට කර රගපාන්නේ. පර්සනලි මගේ ජීවිතේ ආදර්ශ පාඨය විදියට මං සලකන වචන ටික මට මුලින්ම ඇහුනෙත් මේ ෆිල්ම් එකෙන්. ආටිකල් එකේ අන්තිනට දාන්නම් ඒක.

Prisoners (2013)


ඔය කියපු ගොඩාක් විස්තර කිව්වේ විකිපීඩියා එක බලාගෙන.. මං හරිම අකමැති වැඩක්. මොනවා කරන්න ද ඉතිං. ඇත්තටම හියු ජැක්මන්ව ආස්‍රය කරලා නෑනේ විස්තර දැනගන්න. කොහොම උනත් හියු ජැක්මන් කියන්නේ අදටත් මං ආසම නලුවෙක්. වුල්වරීන් චරිතය නිසාමයි ඒ. හරි පොඩි දෙබස් ටිකක් කිව්වට ඒ කියන ටික අහන් ඉන්නෙත් මාර ආසාවෙන්. හෙනම ටිපිකල් වීරයන්ට වඩා පට්ට මොරාල් වගේම ලොකු පරාසයක විහිදුන චරිතයක් තමා වුල්වරීන් කියන්නේ. ඒ චරිතෙට 1000% සාධාරණයක් හියු ජැක්මන් කලා කියන එකයි මගේ මතය. ඒ නිසාම තමා කොමික් ඔස්තාර් කෙනෙක්ට උනත් වුල්වරීන් කියපු ගමන් හියු ජැක්මන්ව ඔලුවට එන්නේ. ඒ වගේම තමා මාර්වල් සිනමා ඉතිහාසයේ එකම චරිතයක් වැඩිම කාලයක් රග දක්වපු නලුවා තමා හියු ජැක්මන්. MCU එකම බදාගෙන ඉන්න අයට මාර්වල් කියපු ගමන් අයන් මෑන් මතක් උනාට සිරාවටම මටනම් මාර්වල් කියපු ගමන් ඔලුවට එන්නේ වුල්වරීන්. ආයෙත් මේ චරිතේ කරන්න මේ වගේ නලුවෙක් බිහි වෙයිද කියන එකනම් ලොකු ගැටලුවක්. මගේ පෞද්ගලික මතේනම් කවදාවත් හියු ජැක්මන්ට රිප්ලේස් එකක් හොයන්න බෑ කියන එකයි. දැනට බලාපොරොත්තුවක් තියාගමුකෝ කෙවින් ෆයිගි මොකක්හරි ගැටයක් ගහයි කියලා.

කොහොම උනත් වුල්වරීන් කියන චරිතය හරහා ආයෙත් අපිට හියු ජැක්මන්ව බලාගන්න ලැබෙන්නෙ නෑ. ලෝගන් ෆිල්ම් එක වෙනුවෙන් හියු ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ආයෙත් ශරීරය වර්ධනය කරගන්න. අවුරුදු 49ක මනුස්සයෙක් වේට් ලිෆ්ටින් කරලා අච්චර ඇගක් හදනවා කියන එක ගැන හිතලා බලන්නකෝ. ඉතිං හියු කියලත් තිබ්බා ඒ චරිතය වෙනුවෙන් ආයෙත් එහෙම කැපකිරීමක් කරන්න අමාරුයි කියලා. ඒක නිසා ආයෙත් අපිට හියු ජැක්මන්ව වුල්වරීන් විදියට දකින්න ලැබෙන්නෙ නෑ. ඉදිරියේදී බලමු මේ චරිතයට රිප්ලේස් වෙන ඊලග වුල්වරීන් කවුද කියලා. ඒ දෙවල් මොන විදියට විසදුනත් කවදාවත් වුල්වරීන් කියන අයිකොනික් රෝල් එක කරන්න හියු ජැක්මන් වගේ නලුවෙක් ආයේ බිහි වෙන්නේ නෑ... 

X-Men වගේම හියුගේ අනිත් ෆිල්ම්ස් ටිකත් බලන්න කියලා ආරාධනා කරනවා. සේරම වගේ මරු. අලුතෙන්ම ආව Reminiscence ෆිල්ම් එකත් බලන්න. නොලන් මහත්තයගෙ නෑනා පොඩ්ඩ (ලීසා ජෝයි) අධ්‍යක්ෂණය කරපු පළවෙනි ෆිල්ම් එක.

Reminiscence (2021)


මේ ෆිල්ම් එක ගැන ඕවර්වීව් එකක් එහෙමත් අපි දැම්මා. මෙතන ක්ලික් කරලා ගිහින් ඒක කියවන්න. එතකොට නිකන්ම ෆිල්ම් එක බලන්න හිතෙයි. X-Men සෙට් එක බලන්න ආස කෙනෙක් ඉන්නවානම් ෆිල්ම්ස් ආව පිළිවෙලට බලන්න. ඒක තමා හරිම විදිය

තවත් මේ වගේම සුවිශේෂී රංගනයක් ඉදිරිපත් කරපු රංගන ශිල්පියෙක්ගේ විස්තර එක්ක හම්බවෙමු.. ජය..!


Pray for the best, prepare for the worst

1 Comments

  1. Real steal ෆිල්ම් එකත් මරු...මං හෙන ආසාවෙන් හිටියෙ deadpool vs wolverine ෆිලුමක් බලන්න...ඒක වෙයි සමහරවිට ඒත් රයන්,හියු හිටියනම් එක පට්ට.දෙන්නගෙ friendship එක නිසා පොර act කරයිද දන්නෙත් නෑ ඉතින්.

    ReplyDelete
Post a Comment
Previous Post Next Post