ගේල් සහ ඇනක්‍රීන් ආක්‍රමණය | Foundation S01E05 Breakdown



මුලින්ම සමාවෙන්න ඕනි බ්‍රේක්ඩවුන් එක ගේන්න දවසක් පරක්කු උනාට. මං හැම සතියෙම බ්‍රහස්පතින්දානේ බ්‍රේක්ඩවුන් එක ගේන්නේ. ඒත් පොඩි වැඩ ටිකක් ගොඩගැහිලා තියෙන නිසා දවසක් පරක්කු උනා මේ සතියේ. මේ වෙනකොට ඔයාලා 06 වෙනි එපිසෝඩ් එක බලලත් ඇති. මටනම් බලන්න වෙන්නේ තව දවස් 3කින් වගේ 😣 හැබැයි ඒකේ බ්‍රේක්ඩවුන් එකනම් අනිවාර්යයෙන් ලබන බ්‍රහස්පතින්දා අරන් එන්නම්. 05 වෙනි එපියේ ලොකුවට බ්‍රේක්ඩවුන් කරන්න දෙයක් නෑ. බලමුකෝ එහෙනම් මොනාද උනේ කියලා. හැමදාම කියනවා වගේ ෆවුන්ඩේශන් එකට දාපු කලින් ලිපි ටික බලලා තියෙන්න ඕනි මෙතනින් ඉස්සරහට කියන දේවල් තේරුම් ගන්න.


එපිසෝඩ් එකේ නම Upon Awakening. මේකේ තේරුම තමයි නින්දකින් ඇහැරුනාට පස්සේ කරන දෙයක් වගේ. හරියටම පැහැදිලි කරන්නම් ඉස්සරහට කතා කරන් යනකොට. එපිසෝඩ් එක කොටස් දෙකකටනේ යන්නේ. ගේල්ගේ කතාව සහ ටර්මිනස් වල කතාව. බ්‍රේක්ඩවුන් කරන්න ලේසියට මං මේ කතා දෙක වෙන වෙනම කියන්නම්. මුලින්ම බලමු ගේල්ගේ කතාව. එපිසෝඩ් එකේ මුල් ටිකේ අපි දැක්කේ ගේල්ගේ ළමා කාලය. ඒ කියන්නේ ගේල් එයාගේ අම්මයි තාත්තයි එක්ක සිනැක්ස් වල හිටිය කාලේ. ගේල්ගේ කම්බුල් වල අර ගල් තියෙනවා එහෙම බලාගන්න පුලුවන්.



සිනැක්ස් වල තියෙන Seer පල්ලියේ සාජිකාවක් විදියට තමා ගේල් ඉදලා තියෙන්නේ. ඔය පල්ලි/පංසල් කතන්දර ගැන කතා කරන්න මං හරිම අකමැති. ඕවා ගැන තේරුම් ගන්න එක ඔයාල කරන්න ඕනි දෙයක්. කොහොමහරි ඉතිං දකින්න ඇතිනේ සිනැක්ස් වල තියෙන විශ්වවිද්‍යාලය පවා තහනම් තැනක් කරලා තියෙනවා කියලා. පොතක් කියවන්න තියා පොතක් අතින් අල්ලන එකත් වැරද්දක් විදියට සලකන්නේ. ඕක සරලව මෙච්චරයි. මිනිස්සු බුද්ධිමත් වෙන්න වෙන්න එයාලා හැමදේම තර්ක කරන්න පටන් ගන්නවා. එහෙම තර්ක කරන මිනිස්සු නිසා ආගම් වලට වාණිජමය වටිනාකමක් ගන්න බැරි වෙනවා. උදාහරණයක් විදියට චෛත්‍යයක් පිරෙන්න පළතුරු කන්දක් ගොඩගැහුවාම දිව්‍යලෝකේ යන්න හරි නිවන් දකින්න හරි පුලුවන් වෙන්නේ කොහොමද කියලා මිනිස්සු අහන්න ගත්තොත්???? කෙලවෙනවා නේද.. ලෝකේ ඕනි දර්ශනයක් තේරුම් අරන් ඉස්සරහට යන්නේ ඒකත් එක්ක තර්ක කරන්න පුලුවන් මිනිස්සු නිසා. හැබැයි ඒ මිනිස්සු එක්ක වාණිජමය වටිනාකමක් ගන්න බෑ. සරලව කිව්වොත් හම්බකරන් කන්න බෑ. එතනින් එහාට ඒ සීන් ටිකේ පෙන්නන දේවල් ගැන ඔයාලා හිතලා බලන්න. එහෙම හිතන්න තේරෙන්නෙ නැත්තම් "ෆිල්ම්/ටීවී සීරීස් වල වෙන දේවල් ඇත්තට වෙන්නේ නෑ" කියලා හිතලා නිකා ඉන්න.

එපියේ මුල ගේල්ගේ කටහඩින් අපිට ඇහෙනවා "I Was Comfortable in Darkness" කියලා. මේකෙ තේරුම අදුර විදියටම ගන්න එපා. උදාහරණයක් විදියට රෑට ලයිට් සේරම ඕෆ් කරලා ඇදට ගියාම මාර සනීපයක් දැනෙනවා නේද? ඒ ලයිට් ඕෆ් කරපු නිසාමද? භාවනා කරනකොට ඇස් පියාගන්නෙත් ඔය හේතුව නිසාමයි. ඇස් වලින් අපිට දකින්න පුලුවන් බොහොම සීමිත් පරාසයක්. ඒත් මනසින් අපිට මුලු විශ්වයම උනත් දකින්න පුලුවන්. ගේල් කියන්නත් ජීනියස් කෙනෙක්. පොතක් පතක් අල්ලන්නවත් බැරි ලෝකෙක ඉපදිලා හිටියට ඉගෙනීම ඇගේම තියෙන කෙනෙක්. එහෙම කෙනෙක්ට සැප පහසුවක් දැනෙන්නේ අන්ධකාරයේ විතරයි.

ඒ වගේම තමා ගේල් මෙතන Black Holes (කලු කුහර) ගැන කියනවා. එයා බය බ්ලැක් හෝල් එකක තියෙන ඉවෙන්ට් හොරයිසන් එකට කියලා. ඔන්න Interstellar බලපු අයට නම් අමතක වෙන්නේ නැති සීන් එකක්.

Interstellar Black Hole

බ්ලැක් හෝල් එකක් කියන්නේ අධික ගුරුත්වාකර්ෂණයක් තියෙන තැනක්. මේකේ ගුරුත්වාකර්ෂණ කොච්චර ද කිව්වොත් බ්ලැක් හෝල් එකකට වැටෙන ආලෝක කිරණකටවත් ආපහු එන්න බෑ. සාමන්‍යයෙන් අපිට මොකක්හරි වස්තුවක් පේන්නේ ආලෝක ප්‍රභවයකින් එන ආලෝක කිරණ ඒ අදාල වස්තුව මතට වැටිලා එතනින් පරාවර්තනය වෙන කිරණ අපේ ඇස් වලට එන නිසා.



හැබැයි ඒ වස්තුව මේ ආලෝක කිරණ සේරම 100%ක්ම උරාගන්නවානම් අපිට මේ වස්තුව පේන්නේ නෑ. අන්න ඒ වගේ දෙයක් තමා බ්ලැක් හෝල් එකක් වෙන්නේ. අන්න ඒ හේතුව නිසා තමා ගේල් කියන්නේ එයා බය බ්ලැක් හෝල් එකේ තියෙන මේ Gravitational Pull (ගුරුත්වාකර්ෂණ බලය) එකට කියලා. එතකොට ඉවෙන්ට් හොරයිසන් (Event Horizon) එක කියන්නේ මොකක්ද?



ඉවෙන්ට් හොරයිසන් එක කියන්නේ බ්ලැක් හෝල් එකකට කිට්ටු වෙන්න පුලුවන් අවසාන තැන (උඩ තියෙන ෆොටෝ එක බලන්න). ඒ කියන්නේ ඉවෙන්ට් හොරයිසන් එකෙන් එහාට (ඇතුලට) ගියාට පස්සේ ආලෝක කිරණයකටවත් ආයේ එන්න බෑ. ඔතනින් එහාට අපි දන්න භෞතික නියමයන් කිසිම දෙයක් අදාල නෑ (වැඩ කරන්නෙ නෑ). දැනට ඔය ටික මතක තියාගන්න. මට නිකමට හිතෙනවා බ්ලැක් හෝල්ව් ගැන මීට වඩා ලොකුවට කතා වෙයි කියලා සීරීස් එකේ ඉස්සරහට. එහෙම කතා උනොත් මීට වඩා හොදට බ්ලැක් හෝල්ස් ගැන පැහැදිලි කරන්නම්.

අපි දැක්කනේ ගේල්, ට්‍රැන්ටෝර් වල ස්ටර්ලින් යුනිවර්සිටි එකත් එක්ක සම්බන්ධ වෙලා අර ගණිත තරගය ජයග්‍රහණය කරන එක එහෙම. ඊට පස්සේ ගේල් ට්‍රැන්ටෝර් වලට යනවා. ඊලගට අපිට බලාගන්න පුලුවන් ගේල් ශිප් එකකට ඇදිලා යනවා.



මේ පෙන්නන්නේ රේච්, ගේල්ව පොඩ් එකකට දාලා ෆවුන්ඩේශන් එකේ ශිප් එකෙන් එලියට දැම්මට පස්සේ වෙන සිදුවීම්. ගේල් ඇහැරෙනවා. හැබැයි මෙයාට කිසිම අදහසක් නෑ මේ මොකක්ද වෙන්නේ කියලා. මෙයා හිතන් ඉන්නේ තාමත් ඉන්නේ හැරී මැරුණ සිදුවීම වෙච්ච දවස් වලමයි කියලා. මේ ශිප් එකේ දොර ඇරෙන විදිය දැක්කද? මේ දොරේ යතුර විදියට පාවිච්චි වෙන්නේ ගේල් අතේ තිබ්බ පිහිය.



හැබැයි මේක ගේල්ගේ පිහියක් නෙමෙයි. මේ පිහියෙන් තමා රේච්, හැරීව මරන්නේ.



එහෙනම් කොහොමද මේ පිහිය යතුරක් විදියට වැඩ කරන්නේ? අන්න.. දැන් තේරෙනවානේ මේ හැමදේම කලින් ප්ලෑන් කරපු දෙවල් කියලා. ඒ වගේම තමා ඔය සීන් එක වෙලාවේ හැරීගේ කනට සම්බන්ධ වෙලා තිබ්බ පොඩි ඩිවයිස් එකක් රේච් ගලෝගන්නවා.



ඒකට මොකක්ද උනේ කියන එකනම් අපි තාම දන්නේ නෑ. හැබැයි ඒ ඩිවයිස් එක මේ සීන් එකට සම්බන්ධ වෙන්න ඕනි. සමහරවිට ඒ ඩිවයිස් එක නිසාද දන්නේ නෑ ගේල්ව අර ශිප් එකට ගානට ඇදිලා යන්නේ. සමහරවිට මෙහෙමත් හිතෙනවා. මේ ශිප් එක වැඩ කරන්නේ හැරීගේ DNA වලටනම් අර පිහියේ තියෙන හැරීගේ ලේ වලින් පුලුවන් ශිප් එකට ඇතුල් වෙන්න. ඒක නිසාද දන්නේ නෑ පිහිය යතුරක් විදියට වැඩ කරන්නේ. ඊලග එපිසෝඩ් එකෙන් ඔය කතන්දර හරියටම ලෙහාගන්න පුලුවන්.

ඒ වගේම ඔන්න සීරීස් එකේ පළවෙනි වතාවට අපිට හරියට අවුරුද්දක් දැනගන්න පුලුවන්. දැන් මේ කතාව යන්නේ 12,102 Era Empiral වල. කෙටි කරලා 12,102 E.E වගේ ගමු. මේ Era Empiral කියන්නේ ගැලටික් අධිරාජ්‍යයේ ආරම්භයේ ඉදන් පටන් ගන්න කාලය. ස්ටාර් වෝර්ස් බලපු සෙට් එකනම් ඕක දන්නවා. පේනවානේ ස්ටාර් වෝර්ස් පවා ඉන්ස්පයර්ඩ් වෙලා තියෙන්නේ මේකෙන් කියලා මං මුල ඉදන්ම කිව්වේ ඒකයි. දැන් කාටහරි හිතෙනවානම් මේක ස්ටාර් වෝර්ස් වලින් කොපි කරලා කියලා, මේ ලිපි කියවිල්ල පැත්තකින් තියාලා ගිහින් ගූගල් කරන්න ෆවුන්ඩේශන් නවල්ස් මුලින්ම පබ්ලිශ් උන කාලේ සහ ස්ටාර් වෝර්ස් ආව කාලේ. උත්තරේ හම්බවෙයි. ඒ වගේම අපි දැනගන්නවා ගේල් අවුරුදු 34යි දවස් 223ක් Cryo-session එකක ඉදාලා තියෙනවා කියලා. මේ කන්සෙපෙට් එක ඕනි තරම් සයිෆයි ෆිල්ම් වල දැකලා තියෙනවානේ. Interstellar එකේ පවා තිබ්බා. සිංහලෙන් මේකට කියන්නේ හිමායන නින්ද වගේ එකක් නේද? මට හරියට මතක නෑ.. වචනෙ හරියට දන්න කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් එකක් දාන් යන්න.

මේ ශිප් එකේ තියෙන/වෙන දේවල් හොයලා බලන්න ගේල්ට කිසිම අවසරයක් නෑ. හැම එකටම Authorization එකක් ඉල්ලනවා. හැබැයි ගේල් කියන්නේ ජීනියස් කෙනෙක්. බුද්ධිමත් මිනිස්සුන්ව එහෙම ලේසියකට නවත්තන්න බෑ. ගේල්ට ඕනි මේ ශිප් එක යන්නේ කොහාටද කියලා හොයාගන්න. ඒ වගේම හැරීගෙ ෆියුනරල් එක සහ රේච්ට මරණ දඩුව දෙන එකත් ගේල් බලනවා. එතනදී රේච් කැම් එකට කියන්න දේවල් ටික කියන්නේ ගේල්ට. කොටස් කීපයක් නැති වෙලා තිබ්බත් පසල් එක විසදන්න පුලුවන් කියලා.



ගේල් අත කපාගෙන සූසයිඩ් කරගන්න හදන එකෙන් හොදට හුරු පුරුදු කෙනෙක් මතක් උනාද? 13 Reasons Why එකේ හැනා මැරෙන්නත් ඔහොම.

13 Reasons Why එකේ හැනා


ගේල්

අදටත් සෑහෙන්න අවුල් යනවා ඒ සීන් එක මතක් වෙනකොට. හැබැයි ගේල් සූසයිඩ් කරගන්නේ නෑ. එයාට මතක් වෙනවා සිනැක්ස් වල ඉන්නකොට Sorn (Instructor Sorn) කියපු දේවල්.



එයා කියන්නේ හැම දෙයක්ම විනාසය සහ යලි ඉපදීම අතර තියෙන චක්‍රයක් කියලා චක්‍රයක් කියලා. ඊලගට එයා සෑහෙන්න වැදගත් දෙබස් කියනවා. "Knowledge gives us ways to survive the destruction until the rebirth arrives". මෙන්න මේ දෙබස තමා ගේල්ගේ ගමනාන්තය වෙනස් කරන්නේ. ඕකෙ සරල තේරුම මෙහෙමයි. අමාරුම කාල වලදී දැනුම නිසා තමා අපේ ජීවිතේ රැකෙන්නේ. ආයෙත් හරි ආරම්භයක් උදාවෙනකම්. බුද්ධාගම නැතුව බුදු දහම කියාදෙන දේවල් ටික ගැන කල්පනා කලොත් ඔය වගේම සංකල්පයක් තියෙන්නේ. මං දන්න ලෝකේ හැම ආගමකම හරය ඕක. හැබයි ඕක නෙමෙයි අපි අරගන්නේ. මේ කතා නිර්මාණය කරලා තියෙන පරාසය හිතාගන්න පුලුවන් නේද. මොටිවේශනල් ස්පීච් වෙනුවට මිනිස්සුන්ට යතාර්ථය තේරුම් කරවන්න කරපු උත්සහයන් තමා මේ. සෝර්න්ගේ මේ වචන ටික මතක් උන නිසා තමා ගේල් ආයෙත් කොහොමහරි මේ ප්‍රශ්නේ විසදගන්න ඕනි කියලා නැගිටලා එන්නේ. හැබැයි ඔය වචන ටික කියන්න ගිහින් සෝර්න්ට මැරෙන්න උනා නේද? මතක් වෙනවද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසයේ ඇණ ගහපු හේතුව? ආත්ම කල්ප ලක්ශ ගානක් බුදු රජාණන් වහන්සේ බුදු වෙන්න පාරමිතා පුරපු විදිය? ඒ වගේම ඒ කැපකිරීමෙන් ලෝකේ මිනිස්සු බිලියන ගානක් ගේල් වගේම එයාලගෙ ජීවිතේ වැටෙන තැන් වලින් නැගිටින්න ඇතිද... සෝර්න්ව අල්ල ගන්න කලින් එයාට පැනලා යන්න ඕනි තරම් වෙලාව තිබ්බා. ගේල් කී පාරක් කියනවද මෙතනින් යන්න කියලා. ඒත් සෝර්න් යන්නේ නෑ. ඒ වෙනුවට එයා කරන්නේ ගේල්ට මගහැරිලා තියෙන පාර පෙන්නන එක. ගේල්ට මැරෙන්න හිතෙන වෙලාවෙදි පවා ඒ වචන ටික මතක් වෙලා කොහොමහරි ජීවිතේ ගැටගහන්න පුලුවන් වෙන්නේ ඒකෙන්.

මේ ශිප් එක යන්නේ කොහාටද කියලා ගේල්ට දැනගන්න බෑ. මොකද කම්පියුටර් එකෙන් ඒක කියන්නේ නෑ. හේතුව ගේල්ට ඒකට ඇක්සස් නැතිකම. හැබැයි මේ ශිප් එක එන්න එන්න ස්ලෝ වෙනවා කියන එක ගේල් හොයාගන්නවා. ඒ කියන්නේ කොහේ හරි ගමනාන්තයකට ලගා වෙනවා කියන එක. ගේල් මේක හොයාගන්න විදිය දැක්කද.. එතනදී ගේල් පාවිච්චි කරන්නේ තරු රටා ඇසුරෙන් ඉන්න තැන හරියටම හොයාගන්න එක.



මේක තාරකා විද්‍යාවේ උගන්වන දෙයක්. මේ චාර්ට් එකට Celestial Chart කියලත් කියනවා. මේක ගැන ලස්සන විස්තරයක් තියෙන ආටිකල් එකක් මට හම්බවුනා. ඒකේ ලින්ක් එක තමා මේ 👇

https://www.opticalmechanics.com/how-to-read-a-star-chart/

ෆ්‍රී වෙලාවක ඒක ගිහින් යවන්න. සෑහෙන්න තොරතුරු ගොඩක් ඉගෙන ගන්න පුලුවන්. මෙතන ගේල් කරන දේ 100% තේරුම් ගන්න පුලුවන් ඒක කියෙව්වාම.

මෙතන ගේල් තව සයන්ස් තියරියක් කියනවා නේද Relativistic Doppler Effect කියලා.



මේක විශේෂ සාපේක්ෂතාවාදයේ තියෙන තියරියක්. මේකෙන් කියවෙන්නේ ආලෝකයේ සංඛ්‍යාතය සහ තරංග ආයාමයේ සිදුවෙන වෙනස්වීම.

Relativistic Doppler Effect

මේක පදනම් වෙන්නේ ආලෝකය එන ප්‍රභවය සහ ඒ ආලෝකය උරාගන්න වස්තුව මත. චක්‍රාවාටයක ආලෝකය උත්පාදනය කරන්නේ තාරවක් මගින් (අපේ සූර්‍යා වගේ). ඒ වගේම තමා ද්විමාන හෝ ත්‍රිමාණ අවකාශයක පිහිටීම හොයාගන්න අපි දෛශික (Vectors) භාවිතා කරනවා. මැත්ස් එහෙම කරලා තියෙන සෙට් එකට පාඩම් පිටින් මතක් වෙන්න ඕනි මේ වචන ඇහෙනකොට.

ගේල් මේ විස්තර හොයාගත්තට පස්සේ එතන තියෙන වින්ඩෝ එක ගැන කම්පියුටර් එකෙන් අහනවා. මේක වර්චුවල් වින්ඩෝ එකක්. සරලව මෙහෙම හිතන්න.



ඔයාගෙ ගෙදර ජනේලෙට ටීවි එකක් සෙට් කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයා ජනේල දිහා බැලුවාම පෙන්නෙ ඇත්තටම ජනේලෙන් එලියෙ තියෙන දේ නෙමෙයි. ටීවී ස්ක්‍රීන් එකෙන් පේන දේ. ආන් ඒකමයි මෙතන වෙන්නේ. මෙතනදි ශිප් එක පෙන්නන්නේ නෑ ඇත්තටම එලියේ තියෙන දේ. ඒ කියන්නේ ශිප් එකට රේච් අණ කරලා තියෙනවා ගමනාන්තය පෙන්නන්න එපා කියලා.



ඒ නිසාමගේ ගේල් අච්චර කට්ටක් කන්නේ යන තැන සහ දැන් ඉන්න තැන හොයාගන්න. ඔන්න ඔය නිසා තමා ගේල් ස්පේස් සූට් එකක් ඇදන් ශිප් එකෙන් එලියට යන්නේ ඇත්තටම තියෙන්නේ මොකක්ද කියලා බලාගන්න.



හැබැයි ගේල් එලියට ගියාට ස්පෙශල් කිසිම දෙයක් පේන්නේ නෑ. අපේ ඇහැට පේන පරාසය ඇතුලේ නොපෙනන දෙයක් තියෙන්න විදියක් නෑනේ. හැබැයි ඇත්තටම එහෙමද??? ඔන්න ඊලගට ගේල් ඉන්ෆ්‍රාරෙඩ් (අධෝරක්ත) වලට මාරු කරනවා සූට් එකේ ෆේස් එකේ තියෙන ස්ක්‍රීන් එක. ඉන්ෆ්‍රාරෙඩ් වලදී අපිට පේන්නේ තාපය මගින් ජෙනරේට් වෙන ඉමේජ් එකක්. ආලෝකයට පේන්නේ නැති දේවල්. අන්න එතකොට තමා ගේල් දැනගන්නේ මෙතන තියෙන්නේ Dark Star එකක් කියලා.



මොකක්ද මේ ඩාක් ස්ටාර් එකක් කියන්නේ. මේක තියරියක් විතරයි. අපේ විශ්වයේ බ්ලැක් හෝල්ස් තියෙනවා කියලා දැන් දන්නවානේ. නාසා ආයතනයෙන් ඉතිහාසයේ පළවෙනි වතාවට බ්ලැක් හෝල් එකක චයාරූපක් පවා අරගන්න සමත්වුනා.

නාසා ආයතනයෙන් බ්ලැක් හෝල් එකක ලබාගත්ත පළවෙනි චායාරූපය


හැබැයි ඩාක් ස්ටාර් කියන්නේ තාමත් තියරියක්. මෙහෙමයි.. බ්ලැක් හෝල්ස් ගැන මං උඩදි කිව්වානේ. බ්ලැක් හෝල් එකකින් ආලෝක උත්පාදනය කරන්නේ නෑ. හැබැයි ඩාක් ස්ටාර් එකකින් ආලෝකය උත්පාදනය කරනවා (අනිත් තාරකා වගේම). හැබැයි මේ ආලෝකයට ඩාක් ස්ටාර් එකේ පෘෂ්ඨයෙන් පිටවෙන්න බෑ. ඒකට හේතුව තමා ඩාක් ස්ටාර් එකක තියෙන අධික ගුරුත්වාකර්ෂණ බලන. බ්ලැක් හෝල් එකක් වගේ. හැබැයි බ්ලැක් හෝල් එකක වෙන්නේ බ්ලැක් හෝල් එකට පිටින් එන ආලෝක කිරණ වලට ආයේ යන්න බැරි වෙන එක. ඩාක් ස්ටාර් එකක වෙන්නේ එයා උත්පාදනය කරන ආලෝක කිරණ වලට ආයේ යන්න බැරි වෙන එක. මං මේ ගොඩක් සරලව පැහැදිලි කරන්නේ. ඩාක් ස්ටාර් එකක් ගැන ඒ කරුණු ඇති වෙයි අපිට සීරීස් එක බලන් යන්න. ඊට වඩා ඕනි උනොත් ඊලග බ්‍රේක්ඩවුන් වල කතා කරමු.

ඊලගට තමා මරුම එක. මේ ඩාක් ස්ටාර් එක වටේ කක්ශ ගත වෙලා තියෙන මිනිස්සු ඉන්න එකම එක ග්‍රහලෝකයක් විතරයි තියෙන්නේ. ඒ තමා හැරී සෙල්ඩන් උපන් ලෝකය වෙන Helicon. එම්පයර් එකේ හැමෝම වගේම මේ ලෝකේ අයත් හිතන් ඉන්නේ හැරීව මැරුවේ රේච් සහ ගේල් එකතු වෙලා කියලනේ. අන්න ඒකයි ගේල් කලබල වෙන්නේ. ඕකට ගියොත් එහෙම කෙලවෙනවානේ. හැබැයි මෙතනදී කම්පියුටර් එක ප්‍රතිචාර දක්වන්නේ නෑ. ඒ වගේම ශිප් එකේ ලේ වගේ තියෙනවා ගේල් දකිනවා. ඒ වගේම හැරී වගේ කෙනෙක් බිම වැටිලා ඉන්නවා ගේල් දකිනවා.



අර පිහියෙන් ඇනපු එක ඒ විදියටම තියෙනවා. මොන මගුලක්ද ඒ? ටයිම් ට්‍රැවල් ද??? ඒක බලමු ඊලග එපිසොඩ් එකෙන්. දැන් ඔය සේරම ටිකක් බලන් ඉන්නකොට තේරුනාද දැනුම කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා. මිනිස්සුන්ගේ පරම අයිතිය කියන්නේ එක එකාව රජ කරවන්න තියෙන චන්ද බලය නෙමෙයි දැනුම කියලා. Game of Thrones එකේ සර්සි, ලිටිල්ෆින්ගර්ට කියනවා Powe is Power කියලා. හැබැයි අන්තිමේට සෙවන් කින්ග්ඩම් එකේම රජ වෙන්නේ ඇවිදගන්නවත් බැරි, හැබැයි ලොකු දැනුමක් ලබාගත්ත එකෙක් නේද..සෝ.. Knowledge is The Power My Friend

දැන් යන් ටර්මිනස් වල කතාවට.....


ඔන්න ඊලගට අපි දකිනවා ටර්මිනස් වල වෙන දේවල්. ඇනක්‍රීන් සෙට් එක ටර්මිනස් වට කරලා තියෙන්නේ. මුන්ගේ පට්ට ප්ලෑන් එකක් තියෙනවා කියන එක හොදටම තේරෙන්නේ අර ලොකු වෙපන් එක උඩින් බැලුවාම පේන්නෙ නැති වෙන්න ශීල්ඩ් එකක් දාන වෙලාවේ.



සීන් එක මෙහෙමයි. ඇනක්‍රීන්ලා ටර්මිනස් වලට එන්න කලින් මුලින්ම කරන්නේ Communication Buoy එක විසන්ධි කරන එක. මෙහෙම කරපු ගමන් ටර්මිනස් වල ඉන්න අයට ට්‍රැන්ටෝර් වලට (එම්පයර්ට) මැසේජ් එකක් යවන්න බැරි වෙනවා (සන්නිවේදන කරන්න බැරි වෙනවා). ඒ වගේම තමා මේ ටර්මිනස් ග්‍රහලෝකෙ තියෙන්නේ ගැලැක්ටික් එම්පයර් එකේ (ගැලැක්සි එකේ) අවසානයට වෙන්න. ඒක නිසා තමා Outer Reach කියලා කියන්නේ. ඉතිං මේ අවුටර් රීච් එකේ තියෙන Communication Buoys වැඩ කරන්නේ නැතුව යන එක සාමන්‍යයෙන් වෙන දෙයක්. ඒක ඇනක්‍රීන් සෙට් එක දන්නවා. ඒක නිසාම තමා එම්පයර් මේ ගැන දැනගත්තාම ආමි එකක් යවන්නේ නැතුව මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න පොඩි ගෲප් එකක් යවන්නේ.



ඒ වගේම එම්පයර්ගේ ශිප් එකක් එනවා කියලා දැනගත්තම ෆාරාගේ මූණ යන හිනාව දැක්කද.. දෙන්නම් තොපිට වගේ ලයින් එකක් තියෙන්නේ 😂



ඔය ටික ඔය විදියටම තමා වෙන්නේ කියලා ඇනක්‍රීන්ලා දන්නවා. ඒ වගේම ෆාරා, සැල්වෝට අහුවෙන එකත් ප්ලෑන් එකේම කොටසක්. මොකද ටර්මිනස් වටේට තියෙන ශීල්ඩ් එක ඕෆ් කරන්න නම් ටර්මිනස් වල ඇතුලට යන්න ඕනි. ගෙදර ලයිට් ඕෆ් කරන්නනම් ගේ ඇතුලට ගිහින් මේන් බ්‍රේකර්ස් ඕෆ් කරන්න ඕනි. ඒ වගේ සීන් එකක් මේ.

ෆාරාගේ ඇහැ වෙනුවට තියෙන්නේ EMP (Electro Magnetic Pulls) ඩිවයිස් වෙන්න ඕනි එකක්.



මේක EMP ඩිවයිස් එකක් කියලා එපිසෝඩ් එකේනම් කියන්නේ නෑ. හැබැයි මේ වෙන දේ වෙන්නේ EMP එකකින් තමා (පවර් එක නැති කරන්නේ). මේකනම් ඕනි තරම් ෆිල්ම්/සීරීස් වල දැකලා තියෙනවානේ. මේ වගේ එකක් ඇක්ටිව් කරපු ගමන් අහල පහල තියෙන සේරම ඉලෙක්ට්‍රොනික් ඩිවයිස් වැඩ කරන්නේ නැතුව යනවා. ඒ  ඩිවයිස් වල සර්කිට් එකට තමා EMP එකෙන් හානි කරන්නේ. ටර්මිනස් වටේ තියෙන ශීල්ඩ් එක වැඩ කරන්නත් පවර් සප්ලයි එකක් ඕනිනේ. අන්න ඒ සප්ලයි එක තමා අර බිල්ඩින් එකේ තියෙන්නේ.



ඒකට අරන් යනකොටම ෆාරා ඇහැ තියෙන EMP එක ගලවලා ඇක්ටිව් කරනවා. මෙහෙමයි.. EMP එකක් ඇක්ටිව් කරන්න ඕනි තැනක් තියෙනවා. ඒ කියන්නේ පරාසයක්. මේක පොඩි EMP ඩිවයිස් එකක් නිසා මේකේ පරාසය අඩුයි. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් මතක් කරගන්නකෝ. ග්‍රවුන්ඩ් එකේ පිච් එකේ EMP ඩිවයිස් එක තිබ්බොත් මේකෙන් හානියක් කරන්න පුලුවන් පරාසය තමා බවුන්ඩ්‍රි ලයින් එක (හතරේ සීමාව) කියන්නේ. ඕනි ඕනි තැන් වල තියලා ඇක්ටිව් කරාට වැඩක් නෑ. අදාල තැනට ගිහින් ඇක්ටිව් කරන්න ඕනි. එතකොට ෆාරා කොහොමද හරියටම දන්නේ එයාව මේ බිල්ඩින් එකට (ප්‍රධාන මූලස්ථානයට) අරන් යයි කියලා???

අන්න ඒකට තමා අර Communication Buoy එකට ඩිස්කනෙක්ට් කරන්නේ. එතකොට අනිවාර්යයෙන් එම්පයර් මේ ගැන හොයන්න ශිප් එකක් එවනවා. එතකොට ඒ එන සෙට් එක අහනවා මොකක්ද උනේ කියලා. එතකොට ටර්මිනස් වල ඉන්න අය කියනවා ඇනක්‍රීන්ලා ටර්මිනස් වලට ඇවිත් ඉන්නේ සහ ඇනක්‍රීන් ටීම් ලීඩර් (විශිෂ්ඨතම දඩයක්කාරුවා) අල්ලගත්තා කියලා. ඕක කිව්ව ගමන් එම්පයර් එවන ශිප් එකේ කමාන්ඩර් අනිවාර්යයෙන් ඒ අල්ලගත්ත කෙනාව බලන්න ඕනි කියනවා.



ඇයි ඉතිං ස්ටාර් බ්‍රිජ් එක විනාස කරපු කේන්තිය එහෙම මෙයාලට තියෙනවා. ඕක කමාන්ඩර් කියනවා එයාගේ ටීම් එකට.



ඉතිං ශිප් එකට ෆාරව පෙන්නන්න නම් එයාව ප්‍රධාන මූලස්ථානයට අරන් යන්න ඕනි. පේනවානේ.. සම්පූර්ණ ගේම් එකම ලස්සනට ප්ලෑන් කරලා තියෙනවා ඇනක්‍රීන් සෙට් එක. ඇනක්‍රීන්ලා කියන්නේ දක්ශ දඩයක්කරුවෝ කියන්න තවත් හොදම උදාහරණයක් තමා මේ. දඩයමක් කරනවා කියන්නේත් මේ වගේම ප්ලෑන් එකක් තියෙන්න ඕනි දෙයක්. දැකලා තියෙනවානේ ඩිස්කවරි එකේ එහෙම කොටි රංචුවක් ගිහින් මුවෝ වගේ සත්තු දඩයම් කරන විදිය.

ඒ වගේම ඇනක්‍රීන් සෙට් එක පබ්ලික් චැනල් වලින් කමියුනිකේට් කරන එක නවත්තන්නෙත් ශිප් එකේ සෙට් එක ටර්මිනස් එක්ක කමියුනිකේට් කලාට පස්සේ. ඒකට හේතුවත් අරකමයි. මෙයාලගෙ මූලික අරමුණ තමා ශීල්ඩ් එක ඩිඇක්ටිවේට් කරන එක. එහෙම කරන්නනම් ෆාරා අර බිල්ඩින් එකට අරන් යන්න ඕනි. එහෙම අරන් යන්නනම් එම්පයර්ගේ ශිප් එක අණ කරන්න ඕනි. එහෙම අණ කරන්නනම් කමියුනිකේට් කරන්න විදියක් තියෙන්න ඕනි. මොකද කමියුනිකේට් කරන්න විදියක් නැති උනොත් එම්පයර්ගේ ශිප් එක කෙලින්ම ටර්මිනස් වලට ලෑන්ඩ් කරනවා. එහෙම උනොත් ඇනක්‍රීන් ප්ලෑන් එක අවුල් යනවා. ඒ වගේම ඇනක්‍රීන්ලා එලාගෙ ලොකු වෙපන් එක උඩින් ශීල්ඩ් එකක් දානවානේ. එ දාන්නේ එම්පයර්ගේ ශිප් එකට එහෙම වෙපන් එකක් පහල තියෙනවා කියලා පෙන්නේ නැති වෙන්න. කෝමද ප්ලෑන් එක. හැරී සෙල්ඩන්ගේ ප්ලෑන් මොනාද කියලා හිතෙනවා නෙහ් 😂😂😂

හැබැයි ශීල්ඩ් එක ඩිඇක්ටිවේට් උනාට පස්සේ දෙපැත්ත වෙඩි තියාගන්න සීන් එකනම් හෙනම චාටර් ඈ. චාටර් කියන්නේ ගූ ගොඩක්.



ඇනක්‍රීන් සෙට් එක 100කට වැඩී. උන් සේරටම වෙපන් තියෙනවා. අනික උපතේ ඉදන් ඇනක්‍රීන්ලා කියන්නේ දක්ෂ දඩයක්කරුවෝ. හැබැයි එකෙක්ට කෙලින් වෙඩි තියන්න බෑ. ඔයාලම හිතන්න තුවක්කු 100කින් විතර එක පාර වෙඩි වරුසාවක් එනකොට ඒකෙන් බේරිලා දුවන්න පුලුවන් වෙයිද කියල. හැබැයි ටර්මිනස් සෙට් එක ලස්සනට බේරිලා දුවනවා. ඒකෙත් හොදම ආතල් එක කියන්නේ වෙපන් එකක් පාවිච්චි කරන්නවත් දන්නේ නැති මිනිස්සු තමා වෙඩි තියනකොට මෙහෙම ලස්සනට බේරිලා දුවන්නේ 😂 කමක් නෑ ඉතිං... අර ගොට් එකේ වගේ කරන්න බෑනේ හැම සීරීස් එකකම. අනික මේක ඇඩල්ස් ඔන්ලි නෙමේ ගොට් වගේ. ඉතිං වයලන්ස් උනත් එහෙම ලොකුවට පෙන්නන්න බෑ. ඒ උනාට ඒ සීන් එක ඊට වඩා ප්‍රැක්ටිකල් විදියට පෙන්නන තිබ්බ. පර්සනලි දැනට සීරීස් එකේ දැක්ක චාටර්ම සීන් එක තමා ඕක.

කොහොමහරි ප්ලෑන් කරපු විදියට ඇනක්‍රීන්ලා ටර්මිනස් වල බලය අල්ලගන්නවා. එම්පයර්ගේ ශිප් එකත් විනාස කරනවා. අනික තමා සැල්වෝ, ෆාරා ගැන කියන දෙබස් ටික. සැල්වෝට තේරෙනවා ෆාරා මේ මිශන් එකට ආවේ ආයේ යන්න බලන් නෙමෙයි කියලා.



ඒ කියන්නේ මේක සූසයිඩ් මිශන් එකක් වගේ. අනික ඇනක්‍රීන් වල මිනිස්සුන්ට දැන් නැති වෙන්න දෙයක් නෑ. එම්පයර් ගහපු ගැහිල්ලේ හැටියට එයාලගෙ ලෝකේ විනාස වෙලා ඉවරයි. පළිගැනීම විතරයි ඒ මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතිං ඒ පළිගැනීම පුලුවන් උපරිමෙන් කරන එක තමා මෙයාලගෙ අරමුණ. ඒ වගේම ෆාරා කියනවා එම්පයර් එයාලගෙ ලෝකෙට ඇටෑක් කරපු එකට වග කියන්න ඕනි හැරී ඇතුලු ෆවුන්ඩේශන් එක කියලා.



ඒක ඇත්ත.. මොකද හැරීගේ අනාවැකි නිසා එම්පයර් බය වෙනවා. බයම නෙමෙයි.. නිකන් අනාගතේ ගැන විස්වාසයක් නැතුව යනවා. ස්ටාර් බ්‍රිජ් එකේ සීන් එකට ඇනක්‍රීන් සහ තෙස්පිස් කියන ලෝක දෙකට හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇටෑක් කරන්නේ ඒකයි. හැදිගෑවිලා පලයන් කියලා වගේ.. හැරීගේ ප්‍රෙඩික්ශන් නොතිබුනානම් එම්පයර් ඔහොම ඇටෑක් එකක් කරන්න තිබ්බ අවස්තාව මාර අඩුයි. මිනිස්සු බය උනාම පිස්සු කෙලිනවා කියන්න හොද උදාහරණයක් තමා ඔය. ඔය සේරන නිසා තමා ඇනක්‍රීන් සෙට් එක ෆවුන්ඩේශන් එකේ කට්ටිය ඉන්න ටර්මිනස් වලට ඇටෑක් කරන්නේ. ඊටත් වඩා ටැක්ටිකල් පැත්තෙන් ගත්තාම එයාලග ඇටෑක් කරන්න පුලුවන් ලේසිම ප්ලැන්ට් එක තමා මේ. එම්පයර් මෙයාලා ගැන ලොකු සැලකිල්ලක් නෑනේ. ඉස්සරහට මරුවට තියෙයි.

ඔන්න ඔහොම තමා එපිසෝඩ් එකේ සිද්දි ටික වෙන්නේ. අර පළවෙනි එපිසෝඩ් දෙකේ වගේ හරි ලස්සන සිනෙමැටික් සීන් ටිකක් තිබ්බා මේ එපිසෝඩ් එකෙත්. සුපුරුදු විදියට මේකේ විශුවල් ඉෆෙක්ට්ස් නම් ගින්දර. සෑහෙන්න වියදම් කරලා තියෙනවා. අර එම්පයර් ශිප් එක කඩාගෙන වැටෙන එකේ විශුවල් ඉෆෙක්ට්ස් එහෙම පර්ෆෙක්ට්. ඕක නිසාම තමා කියන්නේ මේ වගේ සීරීස් 1080p වලින් බලන්න කියලා. මාරම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන්.



එහෙනම් ගිහින් එන්නම්. වැරදි/අඩුපාඩු සහ ඔයාලට හිතෙන දේවල් කමෙන්ට් එකක් දාන් යන්න. අද ආව 06 වෙනි එපිසෝඩ් එකේ බ්‍රේක්ඩවුන් එකෙන් ලබන සතියේ බ්‍රහස්පතින්දා හමුවෙමු. ජය..!


Foundation S01E04 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/10/foundation-s01e04-breakdown.html


Foundation S01E06 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/10/foundation-s01e06-brakedown.html

4 Comments

  1. මට ගොඩක් අල්ලලා ගියේ අර විශ්වවිද්‍යාලයේ ඇතුලේ සෝන් එක්ක ගිය කතා බහ...🔥
    අර වෙඩි තියාගන්න සීන් එකනම් පට්ට චා...😆

    ReplyDelete
  2. Invasion series eka gana podi lipiyak gennako
    series eke base eka mokakda eema kiyala

    ReplyDelete
  3. ela kollo... digatama wedee karagena yaman

    ReplyDelete
  4. Episode 6 බැලුවම මේ කියල තියෙන දේවල් වල ගොඩක් සම්බන්ධකම් පේනවා. ඒ ගැන අහන ප්‍රශ්නෙ ඊළඟ ලිපියෙන් ම අහන්නම් නැත්නමි මෙතන spoil වෙනවා. Anyways Great Job bro.

    ReplyDelete
Post a Comment
Previous Post Next Post