විනාශයේ ආරම්භය ද??? | Foundation S01E04 Breakdown

අලුත් එපිය බැලුවද කට්ටිය? තුන් වෙනි එපියේ තිබ්බ අවුල් එහෙම අකාමකා ගියා අලුත් එපියෙන්. මං මේක බලන්න ගත්තෙත් ටිකක් අවුලෙන්. මොක්ද පර්සනලි මං සෑහෙන්න බලාපොරොත්තු තියන් ඉන්න සීරීස් එකක් මේ. හැබැයි තුන් වෙනි එපිසෝඩ් එකෙන් මං ටිකක් ඩිසපොයින්ට් උනා. ඔන්න ආයෙත් බලාපොරොත්තු අලුත් වෙලා හතරවෙනි එපියනම් ගින්දර ටිකට තිබ්බා. ආ.. ඒ වගේම ගුඩ් නිව්ස් එකක් කියන්න තියේ. ගිය සතියේ ඇපල්ටීවී+ එකෙන් එනවුස් කලා Foundation සීරීස් එක සීසන් 02 එකට දීර්ඝ කලා කියලා.

මේ හතරවෙනි එපිසෝඩ් එකේ තිබ්බ කොලටියට අඩු කරගන්නේ නැතුව දිගටම ගියොත් නම් සීසන් 02 එහෙම සෑහෙන්න හොදට තියේවි කියලා හිතෙනවා. බලමු කොහොම වෙයිද කියලා. මේ එපියේ සයන්ස් පැත්ත අඩුයි. ස්ටෝරියට සෑහෙන්න ෆෝක්ස් කරලා තියෙනවා. හැමදාම වගේ ඔන්න මුලින්ම කියන්න ඕනි ෆවුන්ඩේශන් සීරීස් එක ගැන මං දාපු ලිපිය සහ කලින් බ්‍රේක්ඩවුන් දෙක කියෝලා නැත්තම් අනිවාර්යයෙන් ඒ ටික කියෝලා එන්න. සීරීස් එක බලනවා වගේම තමා. කලින් ටික කියවන්නේ නැතුව මේක විතරක් කියවන්න ගියොත් මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ. එහෙනම් යං කතාවට.

දෙයියනේ කියලා ඔන්න දැන් කතා සේරම එකම කාලෙකට අරන් ඇවිල්ලා තියෙනවා. මේ එපිසෝඩ් එකේ ටර්මිනස් වල වෙන සිදුවීම් වගේම ට්‍රැන්ටෝර් වල වෙන සිදුවීම් වෙන්නෙත් එකම කාලෙක. හරියටම කිව්වොත් ස්ටාර් බ්‍රිජ් එකේ පිපිරීම වෙලා අවුරුදු 35කට විතර පස්සේ වෙන දේවල්. ඒක නිසා කාලය ගැන ලොකුවට ෆෝක්ස් කරන්න යන්න එපා. කෙලින්ම ස්ටෝරි එක බලමු.



මුලින්ම අපිට පෙන්නනවා ෆියුනරල් එකක්. ගැලැක්ටික් එම්පයර් එකට අයිති තවත් ලෝකෙක දැවැන්ත Luminism කියන ආගමේ නායිකාව තමා මේ මැරිලා තියෙන්නේ. මෙයාගෙ නම ප්‍රොක්සිමා ඔපෙල්. Proxima Centauri කියන්නේ අපේ ගැලැක්සි එකේ සූර්‍යාට ලගින්ම තියෙන තරුවේ නම.

Proxima Centauri තරුවේ පිහිටීම


ඔය ප්‍රොක්සිමා කියන වචනේ හැදෙන්නේ එහෙම. ඒකේ සරල තේරුම ලගම/ඊලග විදියට ගන්න පුලුවන්. කොහොමහරි මේ මරණෙත් එක්ක හිස් වෙන තැනට පත් වෙන්න ඉන්නේ Zephyr Gilat. Zephuros (සෙෆරස්) කියන්නේ ග්‍රීක් මෙතලොජි (මිත්‍යාමත) වල ඉන්න දෙවි කෙනෙක්.

Zephuros (සෙෆරස්)

මෙයා හදුවන්නේ God of the West Wind (බටහිර සුළගට අදිපති දෙවියන්). ඔය සෙෆරස් කියන වචනෙන් හැදුන වචනයක් තමා Zephyr (සෙෆර්) කියන්නේ. සෙෆර් කියන ග්‍රීක් වචනේ තේරුම තමා බටහිර සුළග. දැන් ඇයි මං මේවා කියන්නේ? මං මේ ෆවුන්ඩේශන් නවල්ස් කියෝපු කෙනෙක් නෙමෙයි. ඉතිං ඇත්තටම මං දන්නේ නෑ මේකේ වෙන දේවල්. මාත් ඔයාලා වගේම එන එන එපිසෝඩ් එක බලලා තමා ඒ ගැන දැනගන්නේ. හැබැයි මේ නම් නවල් එකෙන් අරගත්ත ඒවා. ඒ කියන්නේ අයිසෙක් ඇසිමොව් මහත්තයා දාපු නම්. පේනවද නමක් දාන්න පවා කොච්චර දුර හිතලා තියෙනවද කියලා. ඒ තරම් දැක්මක් තිබිලා තියෙනවා. ඒ නිසා තමා මේ නවල්ස් කියෝපු මිනිස්සු මේවට පිස්සු වැටෙන්නේ. අද ඒවගෙ ලයිව් ඇක්ශන් බලන අපි පිස්සු වැටෙන්නේ. ඉස්සරහටත් සීරීස් එකේ ඔය වගේ නම් ඇහුනාම පොඩ්ඩක් ගූගල් කරලා හොයලා බලන්න. සීරීස් එක ගැන තියෙන ඉන්ට්‍රස්ට් එක වැඩි වෙනවා ඔය දේවල් වලින්. 

කොහොමහරි සෙෆර් ගිලාට් ව තමා එම්පයර් යෝජනා කරන්නේ. හැබැයි මේ මරණය ගැන පණිවිඩේ එම්පයර්ට කියන්න එන තානාපති කියනවා ගිලාට් ට වඩා මිනිස්සුන්ගේ සපෝට් එක තියෙන තව කෙනෙක් ඉන්නවා සහ එයාගේ නම සෙෆර් හලීමා.

මෙතනදී සෙෆර් හලීමා සහ එයාට පක්ෂපාතී අය ඉන්නේ වෙනම මතයක. එයාලා විශ්වාස කරන විදියට එයාලව පාලනය කරන කෙනාට ආත්මයක් තියෙන්න ඕනි. ඒකට තමා Primary Octavo කියන්නේ. එම්පයර් අධිරාජ්‍යයාගේ පාලන කාලයට කලින් තිබ්බ කන්සෙපෙට් එකක් මේ. ඒ කියන්නේ මෙහෙමයි. අධිරාජ්‍යයා කරන්නේ එයාව ක්ලෝන් කර කර ඉස්සරහට යන එකනේ. ඒ නිසා අධිරාජ්‍යයාට ආත්මයක් නෑ කියලා තමා එයාලා විශ්වාස කරන්නේ. ඒ විශ්වාසයේ ඇත්තක් තියෙනවා. ශරීරය ක්ලෝන් කලාට ආත්මයක් ක්ලෝන් කරන්න බෑනේ. ටිකක් ගැඹුරු කන්සෙපෙට් එකක්. හැබැයි මෙතන ලොකුම ප්‍රශ්නෙ වෙන්නේ එම්පයර්ට ආත්මයක් නැති උනාට මුලු ගැලැක්සි එකේම ඉන්න අනිත් මිනිස්සුන්ට ආත්මයක් තියෙනවා. මොකද එයාලා ඉපදෙනවා වගේම මැරෙනවා. එයාලා තමන්වම ක්ලෝන් කර කර ඉස්සරහට යන්නේ නෑ. තේරෙනවා නේද මෙතන තියෙන අවුල.. සරලව කිව්වොත් පාලනට කරන එකාට ආත්මයක් නෑ. පාලනය වෙන උන්ට ආත්මයක් තියේ. අපිට වෙලා තියෙන්නෙත් ඒකමද මංදා නෙහ් 😂 එතකොට මිනිස්සු මේ වෙනස තේරුම් ගත්තොත් අධිරාජ්‍යයාගේ බලය මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා තමා සෙෆර් හලීමා Luminism වල ප්‍රධානියා වෙන එකට එම්පයර් කැමති නැත්තේ.



ඔන්න ආයේ අපි දකිනවා බ්‍රදර් ඩෝව්න් සූසයිඩ් කරගන්න හදනවා. දැන් කවුද මේ බ්‍රදර් ඩෝව්න්? මතකද කලින් එපිසෝඩ් එකේ බ්‍රදර් ඩාක්නස් මැරුණට පස්සේ එයාගේ අලු වලින් නළලේ මාක් එකක් දාපු අලුත උපන් ළමයා.



ආන් එයා තමා මේ. ඒ වගේම බ්‍රදර් ඩාක්නස් මැරෙන්න කලින් ඇදපු ආට් එකත් මේ බ්‍රදර් ඩෝව්න් මකලා දානවා අපි කලින් එපියේ දැක්කා.

ඒ වගේම මතකද බ්‍රදර් ඩාක්නස් මැරෙන්න කලින් මේ ළමයා අඩන්න පටන් ගන්නවා. එතකොට බ්‍රදර් ඩාක්නස්ට තේරෙනවා මොකක් හරි වෙනසක් මේ ළමයගෙ තියෙනවා කියලා. ඒ නිසා තමා මැරෙන්න කලින් අවසන් වචන ටික විදියට බ්‍රදර් ඩාක්නස් කියන්නේ "No, Something's Wrong" කියලා. ඒ කියපු දෙබස, එහෙම නැත්තම් බ්‍රදර් ඩාක්නස්ට හිතුන දේ ඇත්ත වෙනවා කියන්න ඕනාවටත් වඩා උදාහරණ අපිට මේ එපිසෝඩ් එකෙන් බලාගන්න පුලුවන්. මේකා සූසයිඩ් කරගන්න ට්‍රයි කරන එක පොඩ්ඩක් පැත්තකින් තියමු.

මතකද මං කලින් ලිපි වලත් නිතරම කිව්ව දේ.. මේ තුන් දෙනාම එකම කෙනාගේ ක්ලෝන් එකක්. සරලව කිව්වොත් කොපියක්. ඒ වගේම මෙයාලගෙ රිඇක්ශන් වෙන්නෙත් එකම වෙලාවේ. ස්පෙශලි කෑම මේසේ සීන් වල එහෙම. ඒක හොදට මතක් කරලා බලන්න. කතා කරන වචන පවා පිටවෙන්නේ එකම වෙලාවට. හැබැයි මේ එපිසෝඩ් එකේ බ්‍රදර් ඩෝව්න් ගෙන් ඒ විදියේ දෙයක් අපි දැක්කේ නෑ නේද?

මෙතනදී මං බ්‍රදර් ඩෝව්න් කියන්නේ මෙන්න මෙයාට.මෙයා තමයි එපිය මුලම සූසයිඩ් කරගන්න හැදුවේ. ඒ වගේම කලින් එපියේ අපි දැක්කා මෙයාගෙ නම 14 වෙනි ක්ලියෝන් කියලා. එයා ගැන තමා මේ කියන්නේ

මිනිහට සේරම එහෙ මෙහෙ වෙනවා. ප්‍රොක්සිමා ඔපල් මැරුනා කිව්ව නිව්ස් එකට ශෝකය පල කරන වෙලාවෙත් බ්‍රදර් ඩේ සහ බ්‍රදර් ඩස්ක් එකම වෙලාවේ "Our Condolences" කියලා කියනවා. හැබැයි බ්‍රදර් ඩෝව්න් මේක කියන්නේ තප්පර කීපයක් පරක්කු වෙලා. ඒ වගේම ඕනාවටත් වඩා කෑල්ලකුත් කියනවා.


ඊලගට කෑම මේසේ සීන් එක. මෙතන පොයින්ට් දෙකක් තියෙනවා. පළවෙනිම එක තමා මෙයාලා වයින් වීදුරව අතට ගන්න වෙලාවේ බ්‍රදර් ඩේ සහ බ්‍රදර් ඩස්ක් වීදුර ගන්නේ දකුණු අතෙන්. හැබැයි බ්‍රදර් ඩෝව්න් වීදුර ගන්නේ වම් අතෙන්.



පස්සේ එක පාරට බය වෙලා වගේ වීදුරව දකුණු අතට ගන්නවා. ඊලග පොයින්ට් එක ටිකක් ස්පෙශල්. මතකද කලින් එපිසෝඩ් වල කෑම මේසෙදි තෙස්පියන්ලා, ඇනක්‍රීන්ලා ගැන බ්‍රදර් ඩේ, බ්‍රදර් ඩෝව්න් ගෙන් ප්‍රශ්න අහනවා. ස්පෙශලි එයාලගෙ ඉතිහාසය ගැන. එතන ඉන්න බ්‍රදර් ඩෝව්න් පොඩී (අවුරුදු 7ක් 8ක් විතර).



හැබැයි එයාට හොද දැනුමක් තියෙනවා. හැබැයි මෙතන ඉන්නේ ටීනේජ් වයසේ බ්‍රදර් ඩෝව්න් කෙනෙක්. ඒත් මෙයාට එහෙම දැනුමක් නෑ කියලා මීටර් උනාද? මෙයාට හැමදේම ඇගිල්ලෙන් ඇන ඇන කියාදෙන්න ඕනි වගේ එකක් පෙනුනා නේද?



මතකද මං කලින් බ්‍රේක්ඩවුන් එකේ කිව්ව "ටියුබ් ලයිට් යාලුවා" ගෙ කතාව. අන්න ඒකම වගේ එකක් නේද අපි මේ දැක්කේ. මං එකේ කිව්වේ අපි ඉපදෙන විදිය නෙමෙයි වැදගත් වෙන්නේ අපි හැදී වැඩෙන පරිසරය කියලා. ඔන්න ඒ බ්‍රේක්ඩවුන් එකේ ප්‍රෙඩික්ට් කරපු පොයින්ට් එකක් ඒ විදියටම මේ එපිසෝඩ් එකෙන් අපි දැක්කා 😁

බ්‍රදර් ඩෝව්න් සූසයිඩ් කරගන්න හැදුවට සාර්ථක වෙන්නේ නෑනේ. එම්පයර්ගේ ඇගේ තියෙන ශීල්ඩ් එක නිසා එයා ආරක්ශා වෙනවා.


ඒකනම් මාරම ටෙක්නොලජි එකක් නෙහ්. මේකට කියන්නේ The Aura Repels Kinetic Energy කියලා. Aura එක කියන්නේ මනුශ්‍ය ශරීරය වටා තියෙන විද්‍යුත් චුම්බක ක්ශේත්‍රයට.


මේක අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. ඕක ගැන පැහැදිලි කරන්න ගියොත් මේක බණක් වෙනවා. ඒක නිසා කැමතිනම් යූටියුබ් කරලා බලන්න. Kinetic Energy කියන්නේ චාලක ශක්තියට. Repels කියන්නේ මොකක් හරි බලයක් (ෆොර්ස් එකක්) ආපසු හරවා යනවා වගේ තේරුමක්. මේ වගේ ටෙක්නොලජි එකක් අපි ජීවත් වෙන ලෝකේ හෝ අපි දන්න සයන්ස් වල නෑ. ඒ නිසා මේ ටෙක්නොලජි එක ගැන මට තේරෙන විදියට මෙහෙම විස්තර කරන්නම්.

සාමන්‍යයෙන් අපේ Aura එක බලවත් වෙන්න වෙන්න අපිට පිටස්තර බලවේගෙකින් හානියක් කරන්න පුලුවන් හැකියාව අඩු වෙනවා. මං හිතන විදියට මේ ටෙක්නොලජි එකෙන් කරන්නේ එම්පයර්ගේ තියෙන Aura එකේ බලය උපරිම කරනවා. චාලක ශක්තිය කියන්නේ චලනයකින් (Motion) හටගන්න ශක්තියනේ. මෙතදී බ්‍රදර් ඩෝව්න් උඩක ඉදන්නේ පහලට පනින්නේ. මෙයා උඩ ඉන්නකොට තියෙන විභව ශක්තිය තමා පහලට වැටෙනකොට චාලක ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ.

විභව ශක්තිය (Potential Energy), චාලක ශක්තිය (Kinetic Energy) බවට පරිවර්තන වීම

ශක්තිය මවන්න හෝ විනාස කරන්න බෑ කියලා අයින්ස්ටයින් මහත්තයා කියලා තියෙනවා. ශක්තිය තවත් ශක්ති ප්‍රබේදයකට පරිවර්තනය වෙන එක තමා වෙන්නේ. සාමන්‍යයෙන් අපි උඩක ඉදලා පහලට පනිනකොට හෝ වැටෙනකොට අපේ තිබ්බ විභව ශක්තිය, චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. අපි බිමට වැටෙන්න මොහොතකට කලින් සම්පූර්ණ විභව ශක්තිය, චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. මොකද විභව ශක්තිය රදාපවතින්නේ පොළව මට්ටමේ ඉදන් තියෙන උස එක්ක.

විභව ශක්තිය = ස්කන්ධය × ගුරුත්වජ ත්වරණය × පොළව මට්ටමේ සිට උස

උසක් නැති උන ගමන් විභව ශක්තියකුත් නෑ. ශක්තියක් විනාශ වෙන්නේ නෑ කියලා අපි දන්නවානේ. අන්න ඒ නිසා මෙතන වෙන්නේ ඒ සම්පූර්ණ විභව ශක්තිය, චාලක ශක්තියට පරිවර්තනය වෙන එක. හැබැයි බ්‍රදර් ඩ්වෝන් බිමටම වැටෙන්නේ නෑ. පොළවට ඔන්න මෙන්න තියලා නවතිනවා.


ඒ කියන්නේ විභව ශක්තිය ශුන්‍ය (0) වෙන්න දෙන්නේ නෑ. අන්න ඒක තමා අර ටෙක්නොලජි එකෙන් කරන්නේ. සම්පූර්ණ ශක්තිය චාලක ශක්තියට හරවන එක නවත්තනවා. මේක වෙන්නේ විශාල වශයෙන් චාලක ශක්තියක් හටගන්න වෙලාවට විතරයි. ඒකනේ ඊලගට පෙන්නන සීන් එකෙන් කියන්නේ. එතන ඉන්නේ බ්‍රදර් ඩේ නේ. අර කෙල්ල ඇදට ඇවිත් මෙයාව අල්ලන්න හදනකොට අර ශීල්ඩ් එක නිසා අල්ලන්න බැරි වෙනවා.



හැබැයි බ්‍රදර් ඩේ කියනවානේ හිමිහිට අල්ලන්න කියලා. අන්න එතකොට අල්ලන්න පුලුවන්.



සරලව කිව්වොත් එම්පයර්ට හානියක් වෙන්න පුලුවන් එනර්ජි එක තමා මේ ටෙක්නොලජි එක හරහා නවත්තන්නේ. පැහැදිලී නේද? මේ ගැන මීට වඩා වෙනස් මතයක් තියේනම් කමෙන්ට් එකක් දාන් යන්න. කන්වසේශන් එකක් හදලා ගමු හැමෝගෙම අදහස් වලින් ❤️ යං ඉස්සරහට

මෙතන ඉන්න එම්පයර්ලා තුන් දෙනාව හරියටම දන්නවා නේද? ටීනේජ් කෙනාවනම් දැන් කියලා කියලා දන්නවානේ. ඊලග මෙතන ඉන්න බ්‍රදර් ඩේ තමා අපි අර කලින් එපිසෝඩ් වල දැක්ක පොඩි (අවුරුදු 7ක වගේ වයසේ) ළමයා.

බ්‍රදර් ඩේ

ඒ වගේම මෙතන ඉන්න බ්‍රදර් ඩස්ක් තමා කලින් එපිසෝඩ් වල අපි දැක්ක ඇනක්‍රීන් සහ තෙස්පිස් වලට ඇටෑක් කරන්නේ.

බ්‍රදර් ඩස්ක්

ඒ වගේම මෙයා බ්‍රදර් ඩේ වෙලා ඉන්න කාලේ තමා හැරී සෙල්ඩන් ඇතුලු ෆවුන්ඩේශන් එකේ කට්ටියව ටර්මිනස් වලට පිටුවහල් කරන්නේ සහ ස්ටාර් බ්‍රිජ් එකේ බෝම්බ ප්‍රහාරය වෙන්නේ. 

මේ එපිසෝඩ් එකෙන් අපිට බලාගන්න පුලුවන් බ්‍රදර් ඩේ, බ්‍රදර් ඩස්ක් කරපු වැඩ වලට කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ කියලා. විශේෂයෙන් අර ලෝක දෙකට ඇටෑක් කරපු එකට. මේ දෙන්නා අතර මතබේද ඇති වෙනවා බලාගන්න පුලුවන්. මීට කලින් හිටිය අයගෙන් අපි මෙහෙම දේවල් දැක්කේ නෑ. අධිරාජ්‍යයාගේ බිදවැටීමේ මග සලකුණු තමයි මේ පහල වෙන්නේ. ඒ වගේම මෙයාලා දැනගන්නවා ටර්මිනස් වලට අයිති Communication Buoy එකක් වැඩ කරන එක නතර වෙලා කියලා. මේක කලේ ටර්මිනස් වලට ආව ඇනක්‍රීන් ශිප් එක (ඒ ගැන ඉස්සරහට කතා කරමු). මේ වෙන දේවල් සේරම හැරී පුරෝකතනය කරපු දේවල්. මතකනේ.. සයිකොහිස්ට්‍රි වලින් තනි මනුස්සයෙක් ගැන පුරෝකතනය කරන්න බෑ. සමස්ථයක් විදියට වෙන දේවල් තමා පුරෝකතනය කරන්න පුලුවන්.

බ්‍රදර් ඩේ ට තේරෙනවා මේ සේරම හැරී කිව්ව විදියට වෙන්න පටන් අරන් තියෙන්නෙ කියලා. මෙයා ඒක ගැන බ්‍රදර් ඩස්ක් එක්ක වාද කරනවා. එතකොට බ්‍රදර් ඩස්ක් කියනවා "ඔයා ගොඩ කාලෙකට කලින් මැරුණ මිනිහෙක්ගේ හොල්මනකට බයවෙලා ඉන්නේ" කියලා. මතකද කලින් එපිසෝඩ් එකේ නම, Mathematician Ghost... ඒකෙදි ලොකුවට පැහැදිලි කලා ඔය සීන් එක. මං බ්‍රේක්ඩවුන් එකෙත් කියලා තියෙනවා. මේ එපිසෝඩ් එකෙන් අපිට බලාගන්න පුලුවන් එම්පයර්ගේ ජීවිතේට වගේම සැල්වෝ හාර්ඩින්ගේ ජීවිතේටත් හැරීගෙ හොල්මන කොච්චර බලපෑම් කරනවද කියලා. මෙතන මේ හොල්මන කියන වචනෙ සාම්ප්‍රදායික තේරුම ගන්න එපා ඈ. එහෙම උනොත් මේක විහිලුවක් වෙනවා 😂 මේ කියන්නේ හැරී මැරුනත් තාමත් හැරී තමා මෙයාලගෙ ජීවිතවල වෙන දේවල් තීරණය කරන්නේ වගේ දෙයක්. දැනට එම්පයර් ඉන්න ට්‍රැන්ටෝර් වල කතාව පොඩ්ඩකට නවත්තලා අපි යං ටර්මිනස් වලට. 



ඔන්න කලින් එපියේ අන්තිමට සැල්වෝ අහු වෙන්නේ ඇනක්‍රීන්ලට කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඒ වගේම මෙයාලා එන්නේ Navigation Module එකක් හොයාගෙන කියලා තමා කියන්නේ. කොහොමහරි මෙයාලා සැල්වෝ ව අල්ලගෙන ටර්මිනස් වල සිටි එකට ඇතුල් වෙන්න හදන්නේ. අන්න එතකොට අපිට දැනගන්න පුලුවන් ටර්මිනස් සිටි එක වටේ දාලා තියෙන එන්ර්ජි ශීල්ඩ් එකෙන් එහා පැත්තට යන්න පුලුවන් ටර්මිනස් සිටි එකේම ඉන්න අයට විතරයි. සිටි එකේ ඉන්න අයගේ DNA වල විස්තර තියෙනවා ප්‍රධාන ඩේටාබේස් එකේ. කවුරුහරි ශීල්ඩ් එකෙන් එහා පැත්තට යන්න හදනකොට එයාගේ DNA අර ඩේටාබේස් එකේ තියෙන DNA වලට ගැලපෙනවද කියලා. ගැලපුනේ නැති උනොත් යන්න බෑ. අන්න එහෙම තමා මේක වැඩ කරන්නේ. හැබැයි සැල්වෝ අර ගෑනු කෙනාව අරන් යනවානේ. ඒ වෙලාවේ එහෙම යන්න පුලුවන් වෙන්නේ දෙන්නම එකම මොහොතේ යන නිසා. ඉස්සරහින් යන කෙනාගේ DNA විතරයි චෙක් වෙන්නේ. අනිත් කෙනාගේ චෙක් වෙන්න තරම් වෙලාවක් ලැබෙන්නෙ නැති නිසා තමා එයාටත් යන්න පුලුවන්.



කොහොමහරි ඔන්න මෙයා සැල්වෝ එක්ක සිටි එකට යන්න යනවානේ. ඔන්න ඔය වෙලාවේ ආයෙත් සැල්වෝට අර ළමයා පේනවා. මේ ළමයම තමා කලින් එපිසෝඩ් එකේ සැල්වෝට පෙනුනේ.



මේ ළමයගෙ පස්සෙන් පන්නන්න ගිහින්නේ අර පරණ ශිප් එකට යන්නෙත්. මේ එපිසෝඩ් එකෙත් තැන දෙකක මේ ළමයා සැල්වෝට පේනවා. අනික මෙයා සැල්වෝට විතරක් පේන ළමයෙක්. මොකද මෙතන සැල්වෝ එක්ක යන ගෑණු කෙනටා මේ ළමයව පේන්නේ නෑ. කොහොමහරි ළමයා නිසා මෙයාලා යන ශිප් එක වෙන පැත්තකට හැරෙනවා. එතකොට තමා සැල්වෝට මතක් වෙන්නේ Vault එක ලගට ගියානම් හරි කියලා. මොකද හානියක් නොවී Vault එක ලගට යන්න පුලුවන් සැල්වෝට විතරයි.

ඊට පස්සේ සැල්වෝ මෙයාව අල්ලගෙන ටර්මිනස් වල සිටි එකට ගේනවා. මෙයාගේ නම ෆාරා (Phara).

ෆාරා (Phara)

මුලින්ම මෙයාගේ කිසිම විස්තරක් සැල්වෝට කියන්නේ නෑ. හැබැයි සැල්වෝට පට්ට ටැලන්ට් එකක් තියේ මිනිස්සුන්ව කියවන්න. සැල්වෝ කාසියක් උඩ දදා කරන වැඩේදී දන්න කියන කෙනෙක් මතක් උනේ නැද්ද? නොලන් මහත්තයගෙ The Dark Knight ෆිල්ම් එකේ හාර්වි ඩෙන්ට් (ටූ ෆේස්) එහෙමත් ඕකම කරනවා නේද?

හාර්වි ඩෙන්ට් (ටූ ෆේස්)

හැබැයි මිනිහා කරන්නේ වංචාවක්. මොකද මිනිහගෙ කාසියේ දැපැත්තෙම තියෙන්නේ එකම සිම්බල් එක. මිනිහා නිතරම කියන්නේ "මගේ වාසනාව මමම හදාගන්නවා" කියලනේ. හැබැයි මෙතන එහෙම නෑ.. සැල්වෝ වංචාවක් නෙමෙයි කරන්නේ. මේක එයාගේ ටැලන්ට් එකක්. වාසනාවකුත් නෙමෙයි. එකම දෙයක් එක දිගටම නිතර වෙනවා කියන්නේ ඒක වාසනාව නෙමෙයි. "Repeated luck is never luck" කියලා ගේල්ගේ කටහඩින් ඇහෙන දෙබසෙන් කියවන්නේ ඒක. උදාහරණයක් විදියට ඔයාට බිම වැටිලා තිබිලා රු 1000ක් හම්බුනා කියලා හිතන්නකෝ. ඒක වාසනාව. හැබැයි හැමදාම මෙහෙම බිම වැටිලා තිබිලා රු.1000 ගානේ හම්බවෙන්න ගත්තොත්??? ඒ කියන්නේ කවුරුහරි කෙනෙක් ඔයාට ගන්නම ඒ සල්ලි එතන දාලා යනවා කියන එක. 


කොහොමහරි සැල්වෝ මෙයාව රීඩ් කරන් යනවා දිගටම. ආ.. කාසිය උඩ දානකොට කියන සම්භාවිතාව තේරුනා නේද? පළවෙනි පාර කාසියක් උඩ දාලා ඒක වැටෙන පැත්ත හරියටම කියන ඒකේ තියෙන්නේ 50/50 චාන්ස් එකක්. හැබැයි දෙපාරක් එහෙම හරියටම කියන්න පුලුවන් වෙනකොට එතන තියෙන්නේ 25%ක (හතරෙන් එකක) චාන්ස් එකක්. තුන් පාරක් එහෙම හරියන්න තියෙන්නේ 12.5% (අටෙන් එකක) චාන්ස් එකක්.

තුන් පාරක් කාසියක් උඩ දාන එකේ සම්භාවිතාව රුක් සටහනකින්

ඉතිං ඔහොම ඔහොම එක දිගටම කාසියක් උඩ දාලා ඒ හැම පාරම වැටෙන එක හරියටම කියන්න පුලුවන් කියන්නේ ඒක කොච්චර පොඩි සම්භාවිතාවයක්ද කියලා තේරෙනවානේ. ඒකයි කියන්නේ මේක වාසනාව නෙමෙයි කියලා.

ඒ වගේම සැල්වෝ කියනවා එම්පයර් ෆාරගෙ ලෝකෙට (ඇනක්‍රීන් වලට) කරපු ප්‍රහාරයෙන් එයාලගෙ ලෝකේ ජනගහනයෙන් 50%ක් එවලෙම මැරුණා කියලා. ඒ වගේම තවත් 20% - 30%ක් අතර ප්‍රමාණයක් පසු කාලීනව මැරුණා කියලා. එම්පයර්ගේ ප්‍රහාරයෙන් පස්සේ ඉහල ගිය විකිරණශීලිතාවය නිසා ගොඩක් අය ඊට පස්සේ අවුරුදු වල මැරිලා තියෙනවා. සරලව කිව්වොත් මේක ජනසංහාරයක්. බෝම්බ වලින් විතරක් නෙමෙයි මේක වෙන්නේ හොදේ. බොහොම සුලුතරයක් වෙච්ච දමිළ, මුස්ලිම් මිනිස්සු කරපු දේවල් වලට අපි අදටත් දමිළ, මුස්ලිම් මිනිස්සුන්ට සාප කරනවා නේද? අගෞරව කරනවා නේද? සමහර වෙලාවට අපේ මහා නායකයෝ කියන උන් චන්ද කඩාගන්න ස්ටේජ් වල නැගලා කියපු ගොබ්බ කතා එහෙම මතක ඇතිනේ. පර්සනලි මටනම් ඒ හැම දෙයක්ම පේන්නේ ජනසංහාරයක් විදියට. මොකද භෞතිකව මිනිහෙක් මරණවට වඩා දරුණුයි මානසිකව මිනිස්සු මරණ එක. ඉන්න ගමන් හිතලා බලන්න.. ඒ කියපු කරපු දේවල් වලට හුරේ දාන අපිත් ඒ වැරදි වලම කොටස් කාරයෝ නේද කියලා..

සැල්වෝ කියන දේවල් නිසා ෆාරා එක පාරටම ඇනක්‍රීන් වලින් මොනාද කියවන්න ගන්නවා. මේ කියවන දේවල් අතරේ Larken Keaen කියලා නමක් කියවෙනවා. මේ නමෙන් ආමන්ත්‍රණය කරන්නේ ඇනක්‍රීන් වල විශිෂ්ඨතම දඩයක්කරුවාට. මතකද පළවෙනිම එපිසෝඩ් එකේ තිබ්බ මෙන්න මේ සීන් එක.


මෙතනදී ඇනක්‍රීන් සහ තෙස්පිස් තානාපතිවරු එම්පයර්ට තෑගි දෙකක් දෙනවා. මෙතනදී ඇනක්‍රීන්ලා දෙන්නේ දුන්නක්. එයාලා කියන්නේ මේක තමා එයාලගෙ විශිෂ්ඨතම දඩයක්කරුවා පාවිච්චි කරපු දුන්න හදපු ගහේ ලී වලින්ම තමා මේ දුන්නත් හදලා තියෙන්නේ කියලා. අධිරාජ්‍යයාට කරන ගෞරව කිරීමක් විදියටනේ ඒක දෙන්නේ. කොහොමහරි ඒ දුන්නේ මුල්ම එක තියෙන්නේ ඇනක්‍රීන් වල විශිෂ්ඨතම දඩයක්කාරුවා ලග. සැල්වෝට ඕක මතක් වෙනවා. ඒ නිසා තමා එයා ටක්ගලා ෆාරාගේ දුන්න අරන් බලන්නේ. එතකොට තමයි දකින්නේ ෆාරාගේ දුන්නේ Larken Keaen කියලා ගහලා තියෙනවා කියලා.



ටර්මිනස් වල තියෙන මේ සිටි එකේ ප්‍රධානියා තමා ලුවිස් කියන්නේ.

ලුවිස්

හැබැයි මෙයා සැල්වෝට එච්චර හොදට සලකන්නේ නෑ. මේකට හේතුව තමා සැල්වෝට Vault එක ලගට යන්න පුලුවන් එක. සරලව කිව්වොත් සැල්වෝ මෙයාලට වඩා වෙනස්. ඉතිං මෙයාලා සැල්වෝට බයයි. ඒ බය ප්‍රකාශ කරන්නේ සැල්වෝව ගනන් ගන්නේ නෑ වගේ ෆීලින් එකකින්. 

People Hate What They Don't Understand

ඕක තේරුම් ගන්න ඕනි සාම්ප්‍රදායික රාමුවෙන් එහාට දෙයක් හිතලා ඒ ගැන ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න. එතකොට හරියටම ඒ ෆීලින් එක ගන්න පුලුවන්. අපිනම් උදේ හවා ඒ ආතල් එක ගන්නවා 😂

කොහොමහරි ෆාරාව හිර කරන් ඉන්න නිසා ඇනක්‍රීන්ලා සිටි එක වටකරනවා.


සැල්වෝ ඇතුලු ටර්මිනස් වල අයට ශීල්ඩ් එක තියෙන නිසා බේරිලා ඉන්න පුලුවන්. ඒත් ශීල්ඩ් එක බිද වැටුනොත් ඇනක්‍රීන්ලා අනිවාර්යයෙන් සිටි එකේ බලය අල්ලගන්නවා. මොකද ටර්මිනස් වල ආයුධ තියා ආයුධයක් පාවිච්චි කරන්න දන්න මිනිස්සුත් මාරම අඩුයි.. මෙයාලා මෙහෙට ආවේ ෆවුන්ඩේශන් එකේ වැඩ කරන්න මිසක් යුද්ධ කරන්න නෙමෙයිනේ. ඒක නිසා එක පැත්තකින් ආයුධ පාවිච්චි කරනා දන්නේ නැති එක සාධාරණයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ මෙයාලා ෆෝකස් කරලා තියෙන්නේ හැරී කියපු දේවල් විතරමයි කියලා. මගෙ වචනෙන් කිව්වොත් උගත් මෝඩයෝ. බුද්ධිමත් මිනිස්සු සහ උගත් මිනිස්සු කියන්නේ අහසට පොළව වගේ. මනුස්සයෙක්ගේ බුද්ධිය තීරණය වෙන්නේ පාස් වෙන එක්සෑම් වලින් නෙමෙයි. එක්සෑම් විතරක් පාස් වෙලා ලොකු පුටු වල ඉන්න එවුන් කරන කෙරුවාව පේනවානේ රෑට නිව්ස් එහෙම බලනකොට 😂

කොහොමහරි මෙතන තව විශේෂම දෙයක් තියෙනවා. සයිකොහිස්ට්‍රි වලින් තනි පුද්ගලයෙක්ගේ ජීවිතය ගෙවෙන විදිය ප්‍රෙඩික්ට් කරන්න බෑ කියලා හැරී කියලා තියෙනවා. අපි දැනටම දන්නවානේ ටර්මිනස් වල ඉන්න අනිත් අයට වඩා සැල්වෝ වෙනස් කියලා. ඉතිං සයිකොහිස්ට්‍රි නෙමෙයි මොකකින්වත් සැල්වෝග්වෙ අනාගතේ කොහොම වෙයිද කියලා තීරණය කරන්න බෑ. හැබැයි සැල්වෝ වගේම තවත් වෙනස් කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ ට්‍රැන්ටෝර් වල. එයා තමයි බ්‍රදර් ඩෝව්න් (සූසයිඩ් කරගන්න හදපු කෙනා).


උපතේ ඉදන්ම මෙයා වෙනස් කෙනෙක් කියලා අපි දැක්කනේ. මේ එපිසෝඩ් එකෙත් දිගින් දිගටම මේක දැක්කා. ඒ වගේම මෙයා අර ගාර්ඩන් එකේ වැඩ කරන කෙල්ලට එන්න එන්න සමීප වෙනවා කියලත් පෙන්නුවා.


කොල්ලගෙ හිතේ ආදරයක් ඇති වෙලා වගේ. මෙහෙමයි... ආදරේ කියන කන්සෙපෙට් එක අපිට විකාරයක්. හේතුව අපි ඒක විකාරයක් කරන් තියෙන්නේ. ස්පෙශලි ෆෝන් වලින් ලව් කරන්න ගිහින්. හබැයි ආදරයකට පුලුවන් වෙනස් කරන්න බැරි දේවල් වෙනස් කරන්න. ලගාවෙන්න බැරි තැන් වලට ලගාවෙන්න. මතකද Interstellar ෆිල්ම් එක. සතර මාන වල ඉදන් ත්‍රිමාණ ජීවින් වෙන අපිට පණිවිඩය දෙන්න පුලුවන් උනේ තාත්තා (කූපර්) සහ දුව (මර්ෆ්) අතර තියෙන බැදීම නිසා. ආදරය නිසා.

කූපර් සහ මර්ෆ්

අපි කරපු ඉන්ටෙස්ටෙලා රිවිව් එක දාන්නම් ලිපියේ අන්තිමට. ඒක බලන්න මේ කියපු එක නොතේරුනානම්. කොහොමහරි මට නිකමට හිතෙනවා මේ කෙල්ල ලොකු වෙනසක් කරයි කියලා (හොදට හෝ නරකට). මෙයා නිසා බ්‍රදර් ඩෝව්න් වෙනස්ම වෙන්න ඉඩ තියෙනවා (හොදට හෝ නරකට). බලමු කොහොම වෙයිද කියලා. 

එහෙනම් ඔන්න හතරවෙනි එපිසෝඩ් එකේ බ්‍රේක්ඩවුන් එක ඉවරයි. මගඇරිච්ච දෙයක් තියේනම් කමෙන්ට් එකක් දාන් යන්න මං රිප්ලයි කරන්න. විශේෂයෙන් මට වැරදුන දෙයක් තියේනම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන් යන්න. 05 වෙනි එපිසෝඩ් එක හෙට එනවා. ඒකත් බලන්න. ඒකේ රිවිව් එකෙන් ලබන සතියේ බ්‍රහස්පතින්දට හම්බවෙමු. ජය..!


Foundation S01E01,E02 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/09/foundation-s01e01e02-breakdown.html


Foundation S01E03 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/10/foundation-s01e03-breakdown.html


Foundation S01E05 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/10/foundation-s01e05-breakdown.html


Interstellar චිත්‍රපටයේ විද්‍යාත්මක පසුබිම | Interstellar Movie Review Part 01

1 Comments

Post a Comment
Previous Post Next Post